1/1/12

Legend of the Guardians: The Owls of Ga'Hoole ත්‍රිමාණ සජීවීකරණයේ නව පිටුවක් දිගහරියි.


2010 යනු ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට වල ස්වර්ණමය යුගය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මෙම වර්ෂයේ තිරගතවුනු ත්‍රිමාන චිත්‍රපට අතුරෙන් චිත්‍රපට දෙකකට ඉතා වැදගත් තැනක් හිමි වුනා. ඒ "How To Train Your Dragon" සහ "Toy Story 3". මෙම චිත්‍රපට දෙකෙන්ම පවුලේ කථා පිළිබිඹු වූ අතර මේවා ගුණාත්මක බවින් හා තාක්ෂණිකත්වයෙන් සමන්විත වූ උසස් සිනමා කෘති දෙකක් ලෙස හඳුනවා දෙන්න පුළුවන්. මෙම සිනමා ද්විත්වයට තවත් එක් චිත්‍රපටයක් එක් කිරීමට මා කැමැතියි, "Legend of the Guardians: The Owls of Ga'Hoole".

චෝදනා එල්ලවන්නේ මෙතැනදියි. මුලින් දැක්වූ චිත්‍රපට දෙක සමග "Legend of the Guardians: The Owls of Ga'Hoole" චිත්‍රපටය කරට-කර තබන්න පුළුවන්ද? අප්‍රභාවී කථාතේමාවක් කියල සමහරෙක්ට කියන්න පුළුවන්. කථාකරන සත්තු සිටින නිසා බොළඳ, මෝඩ චිත්‍රපටයක් කියල තවත් කෙනෙකුට කියන්න පුළුවන්. ඒත් මා මෙම චිත්‍රපටය දකින්නේ පවුලේ අයට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙසටයි. ඒ කියන්නෙ මෙම චිත්‍රපටය වැඩිහිටියෙකුටත්, දරුවෙකුටත්, තම-තමන්ගේ බුද්ධි පරාසයන් තුල, විවිධ ආකාරයෙන් රසවින්දනය කළ හැකියි.

මේ කථාව දිග හැරෙන්නේ ත්‍රිමාණ දර්ශන තල, තැනට සුදුසු ආකාරයට එකදු-පහදු කළ ඉතා දර්ශනීය, ඇස් ඇද බැඳ ගන්නා මනඃකල්පිත විමානයක. චිත්‍රපටයකට සංකීර්ණ, දර්ශනීය ත්‍රිමාණ දර්ශන තල එක් කළ යුත්තේ චිත්‍රපටයේ ඒ ඒ දර්ශනයට තිබෙන අවශ්‍යතාවය මතමය. "Avatar" චිත්‍රපටයෙන් පසුව ත්‍රිමාණ දර්ශන තල ඵලදායී ලෙස, චිත්‍රපටයේ කථා තේමාවට බද්ධ කරගත් තවත් එක් චිත්‍රපටයක් ලෙස "Legend of the Guardians: The Owls of Ga'Hoole" හඳුන්වා දෙන්න පුළුවන්.

මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ "Watchmen" සහ "300" යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ, Zack Snyder ය. "Legend of the Guardians: The Owls of Ga'Hoole" යනු ඔහුගේ පළමු ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයයි. කෙසේ නමුත් මෙම චිත්‍රපටයේත් ඔහු තම අන්‍යයතාවය සනිටුහන් කිරීමට නම් අමතක කොට නෑ. Snyderගේ චිත්‍රපටවල කැපී පෙනෙන අංගය වන්නේ, slow-motion රූප රාමු තුලින්, යම්කිසි සිදුවීමක් දර්ශනීය ආකාරයකින්, කුඩා අතිශයෝක්තියක්ද සමගින් ඉදිරි පත් කිරීමයි. මෙම "Snyder style එක" සමග මිශ්‍රවන ත්‍රිමාණ තාක්ෂණය, "Legend of the Guardians: The Owls of Ga'Hoole" චිත්‍රපටයෙන් අසමසම මායාමය අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබාදීමට සමත් වෙයි.

Kathryn Laskyගේ Guardians of Ga'Hoole යන නවකථා පෙළෙහි පළමු නවකථා තුන පාදක කර ගනිමින් තනන ලද මෙම චිත්‍රපටයෙහි ප්‍රධාන චරිත හඬකැවීම් සඳහා දායක වූයේ,  Jim Sturgess, Geoffrey Rush, Emily Barclay, Helen Mirren, Ryan Kwanten, Anthony LaPaglia, David Wenham ය. විවිධ පරාසයන් තුල පැතිරුනු දක්ෂ රංගන ශිල්පින් රැසක් මේ සඳහා තම දායකත්වය ලබා දී ඇත.

මෙම චිත්‍රපටයෙහි දිග ඇරෙන කථාවට අනුව ප්‍රධාන චරිත බකමුහුණන් වීම විශේෂයක්. චිත්‍රපටයෙහි පළමු විනාඩි 15 තුල චරිත වල තිබෙන බාහිර සමානකම හේතුවෙන් කුඩා දරුවෙකුට මෙම චරිත වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට අපහසුවීම චිත්‍රපටයෙහි ඇති අඩුපාඩුවකි.

"Legend of the Guardians: The Owls of Ga'Hoole" යනු ත්‍රිමාණ සජීවීකරණයේ පෙරළන ලද  නව පිටුවක් ලෙසින් දක්වන්න පුළුවන්. විනාඩි 97 කාලයක් තුළ සිත් ඇද බැඳ ගන්නා මායාමය අත්දැකීමකින් මා ග්‍රහනය කර ගැනීමට මෙම චිත්‍රපටය සමත් වුනා. "Avatar" චිත්‍රපටයෙන් පසු මෙවැනි අත්දැකීමක් ලබා දුන් එකම චිත්‍රපටය ලෙසද  "Legend of the Guardians: The Owls of Ga'Hoole" මට දැක්විය හැකියි.


වැඩිදුර විස්තර දැනගැනීම සඳහා,


IMDB
චිත්‍රපටයේ නිල වෙබ් අඩවිය

No comments:

Post a Comment